Homeමුල් පිටුවමහනුවර රාජධානියේ ඉතිහාසය

මධ්‍යම පළාතේ ඉතිහාසය පිළිබඳ කෙටි හැදින්වීමක්

Old map of Kandyan Kingdomශ‍්‍රි ලාංකේය ඉතිහාස වංශ කථාවේ සුවිශේෂි කලාපයක් ලෙසින් මහනුවර, මාතලේ හා නුවරඑළිය කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාත හැදින්විය හැකි වේ.  මෙම පෙදෙසේ පිළිබඳ ඓතිහාසික තතු ක‍්‍රි.පූ. සමය තෙක් අතීතයට දිවෙන බවට සාක්ෂි හමුවේ. බොහෝ ඉතිහාස රචකයින් එහි ඉතිහාසය රාවණා යුගය තෙක් දිවෙන බව ඉතිහාසඥයින් විසින් පෙන්වා දෙන අතර ඒ සඳහා ජනප‍්‍රවාද තොරතුරු සාක්ෂි ලෙස ගෙනහැර දක්වා ඇත. එමෙන්ම රාවනා යුගයේදී ද මෙම ප‍්‍රදේශය මලය (රට) යනුවෙන් හඳුන්වා ඇති බවත් පසුව වරින් වර යක්ෂ, රාක්ෂ, දේව, නාග යන ගෝත‍්‍රිකයින් මෙහි වාසය කර ඇති බවත් ජනප‍්‍රවාද අනුව පැහැදිලි වන බව ද තවදුරටත් පෙන්වා දී තිබේ. මෙම අවධියේදී වැඩිපුරම වාසය කර ඇත්තේ රාක්ෂ සහ යක්ෂ ගෝත‍්‍රිකයින් බව දැක්වෙන අතර මෙහි වාසය කළ පිරිස් මහාවංසයේ සඳහන් වන පුලින්දයින් කුවේණියගෙන් පැවත එන්නන් ලෙස හඳුන්වා ඇත. තව ද  ක‍්‍රි. පූ. සමයේ සිට මැදරට (මහනුවර හා අවට) ජනාවාස පැවති බවට සාධක අභිලේඛන මගින් අනාවරණය වේ. බඹරගල, හාරගම, දූල්වල, වේගිරිය, මොලගොඩ, යාන්ලෙන, ගලබාව හා ගෝනවත්ත වැනි ස්ථානවලින් හමු වී ඇති බ‍්‍රාහ්මි අභලේඛන මේ සඳහා සාක්ෂි වේ.

 

මේ අනුව ශ‍්‍රී ලාංකේය ඉතිහාසයෙහි ඉතා පැරණි අවධියකට උරුමකම් කියන මහනුවර ප‍්‍රදේශය ඇතුළත් මැදරට (මධ්‍ය කඳුකරය) ප‍්‍රදේශය අනුරාධපුර යුගයේදී කඳුරට යන අර්ථයෙන්  ”මලය දේශය”, ”මලය මණ්ඩලය”, ”මලයරට,” ”මලයාණ්ඩු” ආදී නම්වලින් හඳුන්වා තිබෙනු දැකිය හැකිය. තව ද ප‍්‍රාග් අනුරාධපුර යුගයේදී සමස්ත ශ‍්‍රී ලංකාව උත්තර දේශය හා රෝහණය යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදී තිබුන අතර එම බෙදීම තුළ මධ්‍ය කඳුකරය වන ගිරිමණ්ඩලය (මලය දේශය) උත්තර දේශයට වඩා රෝහණ දේශයට කිට්ටු සම්බන්ධතාවක් පැවති බව පෙනී යන්නේ ය.

 

kandyan kingdom flagරජරට, දක්ඛිණ දේශය, රෝහණ දේශය හා මේරුකන්දර (මලය රට) යනුවෙන් සමස්ත ශ‍්‍රී ලංකාව කොටස් හතරකට බෙදී තිබුන අතර මේරුකන්දර දේශය හෙවත්  මලය රටට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය අයත් විය. මහවැලි නදිය ආධාර කොට ගෙන මලය දේශය උත්තර මලය හා දක්ඛිණ මලය ලෙස කොටස් දෙකකට බෙදී පැවතුන අතර අනුරාධපුර මධ්‍යම රජය යටතේ උත්තරමලය දේශය ප‍්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් පැවතිණි.  එමෙන්ම පළමුවන පරාක‍්‍රමබාහු සමයේදී (පොළොන්නරු යුගයේදී) මලය දේශය දක්ඛිණ දේශයට එකතු කිරීමෙන් පසුව තත් ප‍්‍රදේශයන් දෙකම ”මලය” යන නමින් හඳින් වූ බව පෙනේ.

 

king rajasinha iiක‍්‍රි.ව. හයවන සියවසේ සිට එකොළොස්වන සියවස දක්වා කාලයේදී මලය ප‍්‍රදේශය මලය රාජ නැමැති කුමාරයෙකු යටතේ පාලනය වූ බව දක්නට ලැබෙතත් එය වෙනම රාජධානියක් වශයෙන් නොපැවතුන අතර අනුරාධපුර හා පොළොන්නරු පාලකයින් යටතේම පැවතී ඇත. අනුරාධපුර හා පොළොන්නරු යුගයන්ට වඩා නිරිතදිග රාජධානි වෙත පාලන කේන්ද්‍රස්ථාන මාරුවීමෙන් පසු කන්ද උඩරට ප‍්‍රදේශය වැදගත් කලාපයක් ලෙසින් ඉදිරියට ඒමක් දැකගත හැකිය. පොළොන්නරු රාජධානිය කාලිංග මාඝ ආක‍්‍රමණ හේතුවෙන් බිඳ වැටීමට ලක්වන විට එම ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඇතැම් පිරිස් මලය දේශයට සංක‍්‍රමණය වීමත් සමඟ මලය දේශයේ ජනඝනත්වය ක‍්‍රමයෙන් වර්ධනය වූ අතර දාහතරවන ශතවර්ෂය වන විට වර්තමාන මධ්‍යම පළාත ද ඇතුළත් මලය රට දේශපාලන ඉතිහාසයේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. කුරුණෑගල රාජධානියේ පරිහානියත් සමඟ ගම්පොළට හතරවන භුවනෙකබාහු සිය රාජධානි කේන්ද්‍රස්ථානය මාරු කරනුයේ ද ඉන් පසු පාලකයින් කිහිප දෙනෙකුම එහි සිට සිය පාලනය ගෙන යනවා පමණක් නොව දළදා වහන්සේ ද එහි වැඩම කරවීමට කටයුතු යෙදීම තුළ මෙම ප‍්‍රවනතාවයේ වැදගත්කම නිර්ණය කළ හැකි බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දී ඇත.

ස්වභාවික රැකවණ සහිත ස්ථානයක් වීම සෑම සතුරු උවදුරු ඇති වු අවස්ථාවකම රාජධානි පාලකයාට රැකවරණ සැලසු පදෙසක් මෙන්ම එම පාලකයින්ට ස්නා සංවිධානය කර දෙමින් ශී‍්‍ර ලාංකාවේ නිදහස රැක ගැනීමට සෑම අවස්ථාවකම මධ්‍යම පළාත ප‍්‍රමුඛ කොට ගත් කදුකරයේ ජනයා සහ ජන නායකයින් ඉදිරි පත් වු බව පොළොන්නරු යුගයෙන් පසු උදාවන නිරිතදිග රාජධානි අවධියෙහි මැදරට පිළිබඳව අවධානය යොමු කිරීමේදී දඹදෙණි යුගයේදීත්, ඉන් පසු කුරුණෑගල යුගයේදීත් ගම්පොළ සමයේදීත්, පෙර පරිදිම ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති අතර සතුරු පීඩාවන් නිසා ගම්පොළ ආරක්ෂා රහිත වූයෙන් ගම්පොළ ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානය පේරාදෙණියට ගෙන ගිය බව සඳහන් වේ. ඉන් පසුව සේනාසම්මත වික‍්‍රමබාහු විසින් ක‍්‍රි.ව. 1480 දී සෙංකඩගල සිය අගනගරය බවට පත් කරගන්නා ලද අතර පසුව කන්ද උඩරට රාජධානියෙහි අගනුවර වූ සෙංකඩගල පුරවරයේ උපත මෙලෙසින් සිදුවේ. රාජධානි කේන්ද්‍රය ස්වභාවික රැකවරණය පමණක්ම නොව එහි ජීවත් වු වැසියාගේ කි‍්‍රයාකාලාපය ද හේතු වු බව පැහැදිලි වේ.

 

කෝට්ටේ යුගයෙහිදී හයවන පරාක‍්‍රමබාහු රජු යටතේ දිවයිනේ දේශපාලන එක්සත් බවක් ඇති වන විට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය ද කෝට්ටේ රාජ්‍ය යටතේ පැවතිනි. කෝට්ටේ හයවන පැරකුම් රජුගෙන් පසු කන්ද උඩරට ස්වාධීනත්වය සඳහා ක‍්‍රියාත්මක වූ බවට ගඩලාදෙණිය සෙල්ලිපිය සාක්ෂි සපයයි. මේ සඳහා මූලික වූයේ කන්ද උඩරට ස්වාධීනත්වය පතමින් සිටි සේනාසම්මත වික‍්‍රමබාහු රජුය. මේ අනුව කෝට්ටේ ඇති වූ අභ්‍යන්තර අරගල හමුවේ හයවන පැරකුම් රජු බිහිකළ එක්සත් ශ‍්‍රී ලංකාව තුළ ”සෙංකඩගල රාජ්‍යය” නමින් තවත් ස්වතන්ත‍්‍ර රාජ්‍යයක් මෙම යුගයේ දී (නිරිත දිග රාජධානි සමයේ දී) බිහිවිණි. ක‍්‍රි.ව. 1477-1478 කාලපරිච්ඡේදය වන විට ශ‍්‍රි ලංකාව ප‍්‍රධාන වශයෙන් කෝට්ටේ, සෙංකඩගල, හා යාපනේ යනුවෙන් දේශපාලන මධ්‍යස්ථාන ත‍්‍රිත්වයක් යටතේ ක‍්‍රියාත්මක විය. මෙම කරුණු අනුව මුලින් මලය දේශය ලෙස ඉදිරියට ආ කන්ද උඩරට ප‍්‍රදේශය නිරිතදිග රාජධානි සමය වන විට ලංකාවේ ප‍්‍රධාන රාජ්‍ය ත‍්‍රිත්වය අතර එකක් බවට පත් වූ බව පැහැදිලි වේ.
ක‍්‍රි.ව. 1500න් පසු පෘතුගීසීන් මෙරට මුහුදුබඩ සිටි කාලපරිච්ඡේදය ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ මධ්‍ය පළාත ප‍්‍රමුඛ කොට ගත් උඩරට රාජධානිය හා එහි වැසියා ශී‍්‍ර ලංකාවේ නිදහස වෙනුවෙන් නැගීසිටිමේ කාලපරිච්ජේදය ලෙස දැක්විය හැකි වන්නේ ය. මහවැලි ගඟින් තුන් පැත්තකින් හා හන්තානේ කඳුවැටියෙන්ද සීමා වූ ස්වභාවික ආරක්ෂාවෙන් යුතු සෙංකඩගල මධ්‍යස්ථානය කරගත් කන්ද උඩරට රාජ්‍යය මේ අවධියේ එතරම්ම දියුණු තත්ත්වයක් නොපෙන්වූ බව පෙනේ. මෙම අවධියේ දී උඩරටට අයත් ප‍්‍රදේශ වූයේ උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව හා හේවාහැට යන ප‍්‍රධාන මධ්‍යස්ථානයන්ය. එමෙන්ම මාතලේ, ඌව, කොත්මලේ ආදී ප‍්‍රදේශයන් ද සත් කෝරළය, සතර කෝරළය, තුන් කෝරළය, සබරගමුව යන ප‍්‍රදේශයන්ගේ කොටස් ද කන්ද උඩරටට අයත් විය.

 

king Vimaladharmasuriya Iමෙම අවධිය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන රාජ්‍යය වූ  කෝටටේ රාජ්‍යය තුළ ක‍්‍රි.ව. 1521 දී ඇති වූ දේශපාලන බල අරගලයේ ප‍්‍රථිඵලයක් වශයෙන් වැඞී ආ සීතාවක රාජ්‍යයට ක‍්‍රි.ව. 1582 පමණ වන විට සෙංකඩගල රාජ්‍යය අයත් වූ අතර ලංකාවේ බටහිර බිම් තීරුව හා උතුරේ ද්‍රවිඩ රාජ්‍යය හැර සමස්ත ලංකාවම මෙහිදී සීතාවකට අයත් විය.ඒ අනුව මධ්‍ය කඳුකර ප‍්‍රදේශය ස්වාධීන රාජධානියක් වශයෙන් තිබූ තත්ත්වය හා අයත් වූ ප‍්‍රාදේශීය සීමාවන් මේ සමඟ වෙනස් වූ බව පෙනී යන්නේ ය.

 

ක‍්‍රි.ව. 1592දී දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ට විරුද්ධව සිදුකළ දන්තුරේ සටනින් පසු දෝනකතිරිනාව සිය බිසව බවට පත්කර ගෙන විමලධර්මසූරිය නමින් උඩරට රජ බවට පත්වීමත් සමඟ කන්ද උඩරට රාජධානිය ආරම්භ විය. ඒ අනුව කෝට්ටේ හා සිතාවක රාජධානිවලින් නිදහස් වූ ස්වාධීන බලවත් රාජ්‍යයක් ලෙස කන්ද උඩරට රාජධානිය ඉදිරියට එන අතර සෙංකඩගලපුරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනුයේ මොහු විසිනි. මේ අනුව මහනුවර රාජ්‍යය ක‍්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය ලෙස ක‍්‍රි.ව. 1593 - 1815 දක්වා කාලය දැක්වේ.

 

මෙම කාල පරිච්ජේදය තුල උඩරට රාජධානිය පාලනය කළ රජවරුන් පහත පරිදි වේ.

රජතුමා කාල පරිච්ජේදය
පළමු වන විමලධර්මසූරිය රජතුමා 1590 - 1604
සෙනරත් රජතුමා 1604 - 1635
දෙවන  රාජසිංහ රජතුමා 1635 - 1687
දෙවන විමලධර්මසූරිය රජතුමා 1687 - 1707
ශී‍්‍ර වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා 1707 - 1739
විජයරාජසිංහ රජතුමා 1739 - 1747
කීර්ති ශි‍්‍ර රාජසිංහ රජතුමා 1747 - 1782
රාජාධි රාජසිංහ රජතුමා 1782 - 1798
ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා 1798 - 1815

king sri vikrama rajasinha1815 දී උඩරට රාජධානිය ප‍්‍රමුඛකොට ගත් සිංහලයන්ගේ බලය පැතිර තිබු ප‍්‍රදේශ බි‍්‍රතාන්‍යයන්ට අයත් වුයේ උඩරට ප‍්‍රධානින් හා බි‍්‍රතාන්‍ය පාලකයින් අතර ඇති වු ගිවිසුමක් මගින් ය. මෙම ගිවිසුමට පෙර උඩරට රජුන් පෘතුගීසින් හා ලන්දේසින්ට විරුද්ධව උඩරට අභිමානය පෙරදැරි කරගනිමින් දන්තුරේ දීත් ගන්නොරුවේදීත් යුරෝපා ජාතීන්ට පෙරදිගදි  අත් වු දරුණුතම පරාජයට ලක් කිරීමට සමත් වු බව ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු කරුණකි. ශී‍්‍ර ලංකාය උඩරට ගිවිසුම මගින් බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමගින්ම බි‍්‍රතාන්‍යය පාලනයට එල්ල වු පළමු ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ උඩරට බෞද්ධ භික්ෂුවක් වු වාරියපොල ශි‍්‍ර සුමංගල හිමියන් වෙතින්ය. උන්නාන්සේ මහමළවේ ඔසවන ලද බි‍්‍රතාන්‍ය ධජය පහත දමා සිංහ ධජය නැවතත් ඔසවන ලද්දේ  උඩරට සිංහල ජනයාගේ උදාරත්වය ලොවටම පෙන්වමින් ය.

 

kandyan convention (Udarata Givisuma)1815 සිට වසර තුනක් යෑමට මත්තේන් උඩරට සිටි නායකයින් වෙල්ලස්ස මුල් කොට ගන පළමු නිදහස් වෙඩි මුරය මුදා හල අතර එහි මුල් පෙලේ නායකයින් රැසක් මධ්‍යම පළාතෙන් බිහි වීම සුවිශේෂී වේ.මොණරවිල කැප්පටිපොල නිලමේ, හඟුරන්කෙත ඩිංගිරාළ, කොහුකුඹුරේ රටේ රාළ ආදි වු සිංහල නායකයින්ගේ ප‍්‍රකට වන්නේ එදා මැදරට වැසියාගේ වීරත්වයයි. බි‍්‍රතාන්‍යයන්ගේ කුරිරු මර්ධනයට ලක් වු පළමු නිදහසේ නැගී සිටීම වෙඩි බලයට යටපත් කළ හැකි වුව ද උඩරට වැසියාගේ සිත් තුළින් මර්ධනය කිරීමට යටත් විජිත පාලකයින්ගේ වඩි උණ්ඩයට නොහැකි විය. 1848 මාතලේ මුල් කර ගෙන පුරන් අප්පුගේ නායකත්වයෙන් ප‍්‍රකාශයට පත් වු දෙවන නිදහස් අරගලය එදා බි‍්‍රතාන්‍ය පාලකයින් මහත් වු අපහසුතාවයට පත් කිරීමට සමත් විය. මේ අයුරින් 1948 වසරේ බි‍්‍රතාන්‍යයන් වෙතින් මෙරටට නිදහස ලැබීමේ අවස්ථාව දක්වාම ඉතිහාසය තුල මැදරට ජනයා ප‍්‍රමුඛ මධ්‍යම පළාත සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන ලද පෙනී යන්නේ ය.

 

 

 

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 8 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

549740
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
413
421
1407
3338
8965
17917
549740

ඔබේ IP: 107.22.118.242
Server Time: 2017-09-19 22:13:25
Joomla templates by Joomlashine